Saturday, 25 April 2009

කවිය නොකියවා කවියා කියැවීම.

ගහන ගහන හැම ගලක්ම මලක් වෙලා බිම වැටෙන්න...

ලියන දෙයින් ලොව සනහා මෙත් මල් දම් පතුරවන්න
අසන දෙයින් මට වගේම ඔබටත් සතුටක් දැනෙන්න
රුදුරු වදන් පිට ලියලා හඬන සිතක් නොම තලන්න
මිතුරු වෙසින් එන සතුරන් හැමටම එක සේ සිටින්න

කියන කියුම් ගැන හිතලා පලක් නොවේ මැයි සිතන්න
ගහන ගහන හැම ගලක්ම මලක් වෙලා බිම වැටෙන්න
රිදෙන නිසා කෑ ගසනා අමිනිස් හිත් නොම තියෙන්න
ලියන සියල් මිනිසුන්ගේ හිත් නොතලා නුඹ ලියන්න



මහගම සේකර කවියාගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ එන මගෙ කවියෙන් මා නොසොයන් කවිය අපි නැවත මතක් කරගත යුතුයි...

අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මා දකින්න.. යනුවෙන් නිරපේක්ශ සිතුවිල්ලක් කැටි කොට ලියවුනු මේ කාව්‍යය මසිත නිරන්තර නින්නාද දේ.
මතුවටත් එසේමැයි.

කවිය නොකියවා කවියා කියැවීම බෙහෙවින් දක්නට ලැබෙන දෙයකි. කෙනෙකුගේ අනන්‍යතාවයට ගරු කරන මිනිසුන් බ්ලොග් අවකාශයේ නොසිටීම මේ සියල්ලටම හේතුවයි. මේ ප්‍රශ්ණය බ්ලොග් අවකාශයේ දැන් ඕනෑවටත් වඩා කතා කරමින් පවතින නිසා, අවසාන දැනුම් දීම මෙලෙස කරමි.
මම ලියන්නේ , Bo යන නමින් මිසක් මගේ සම්පූර්ණ නමින් නොවේ. සම්පූර්ණ නම භාවිතාකල අය එය භාවිතා කරමින් අනන්‍යතාවය හෙළි කරන වෑයමක් ගෙන ගියා. එවන් දෑ දුටු විට එය අවංඥාවෙන් බැහැර කළ යුතුය. මේ ගැන අබමල් රේණුවක තරම්වත් ගණන් ගන්න එපා කියලා, මා දන්නා සියල්ලන් මට පැවසුවේ. සැදුනු සිත ඉවසයි දරයි... මා ලියූ මගේ සිතුවිලි මෙවැනි අවස්ථා වලදී ඉවසීමෙන් ක්‍රියා කිරිමට මට නිබඳව උදව් වුනා.

බ්ලොග් අවකාශයේ සියල්ලන්ටම දැන ගැනීම පිණිස, මම පිළිතුරු සපයන්නේ මේ ලියන බ්ලොග් අයි ඩී එකෙන් බවත් , anonymous ආකාරයෙන් නොලියන බවත් මෙයින් පැහැදිලි කරමි. එම අයි ඩී එකෙන් ලියන්නට නොහැකි, මතවාදී අඩවි වල මම නොලීවෙමි. මින් ඉදිරියටද නොලියන්නෙමි. තවද කියවන අඩවි හැරෙන්නට දකින දකින සෑම බ්ලොග් අඩවියකම නොලියන බවත් ඉඳුරාම පවසමි. ඔබ අඩවි වල ඇනෝනිමස් ආකාරයට ලියන්නේ මා නොවේ, කවුරුන් හෝ කල දුටු කළ වල ඉහ ගැනීමේ වෑයමක් දරන බව පෙනේ. එවැනි පෞද්ගලික දෑ සඳහන් කරමින් ලියනා දෑ ඉවත් කිරිම ඔබ සතු යුතුකමකි.
ඒ අතර තුර විවිධ චින්තනයන් ලියනා බ්ලොග් අඩවි මා ඔවුන්ගේ අයෙක් ලෙස හුවා දක්වන්නට වෑයම් කරයි. අසාධාරණයට විරුද්ධ වෙන්න, ඒ සඳහා අසාධාරණයට ලක්වෙන්නා කවරෙක්දැයි අවශ්‍ය නොවේ. එනිසා ඔබේ සතුරන්ට පහර දීමට අප වැනි ස්වාධීන ලියන්නන් අවියක් කරගන එපා යැයි එවැනි අඩවි වලින් මම කාරුණිකව ඉල්ලා සිටිමි. මේ දේ සිදුවූ පළමු කෙනා මා නොවේ, මීට කලින් සිංහල බ්ලොග් ලියූ අයටද මෙ ආකාරයෙන්ම අකටයුතු කම් සිදු විනි.

මා කෙරෙහි වෛරයෙන් පසුවන සියල්ලන්ගේම වෛර සිතුවිලි නැතිවී, ද්වේශයෙන් පසුවන සියල්ලන්ගේම ද්වේශ සිතුවිලි නැතිවී ඔවුන් ගේ කිළිටි වූ සිත් සතන් නිවී සැනහේවා යන්න මගේ ඒකායන පැතුමයි.

Thursday, 16 April 2009

කාරුණික දැනුම් දීමයි...

යම් කිසි වෙබ් අඩවි කිහිපයක් හරහා, හරි නමක් නැති පුද්ගලයින් විසින් ලියන්නට යෙදුනු යම් යම් දෑ ගැන බ්ලොග් අවකාශයේ විවිධ මත ප්‍රකාශ කෙරෙමින් පවතින මේ අවස්ථාවේ කරන්න තියෙන හොඳම දේ නොදැක්කා සේ සිටීමයි.

කවුරු මොන දේ කලත් ලෝක ධර්මතාවයට පටහැනි සියලු දේවලට ඔවුන්ගේ හෘදසාක්ෂිය විසින්ම පිළිතුරු සපයනවා ඇති.

බ්ලොග් අවකාශයේ, මා කියවන බ්ලොග් අඩවි වල හැරෙන්නට අනික් කිසිම තැනක comment නොදමන නිසාත් anonymous ආකාරයෙන් පිළිතුරු නොලියන නිසාත්, කිසිම විවාදශීලී මාතෘකාවකට සම්බන්ද නොවන නිසාත්, එවැනි දෑ ලියන්නේ මම නොවෙන බව මම හිතන්නේ ඔබ සැමට තේරුම් ගත හැකිය. මතවාද ඇතිකරගෙන ඕපා දූප දොඩන වෙබ් අඩවි කිසිවක මම comment නොදමන බව මෙයින් දන්වා සිටින්නේ සියල්ලන්ම ඒ ගැන මා දැනුවත් කරන නිසාවෙනි.

එනිසා මතවාද ඇතිවන ආකාරයෙන් විවිධ අඩවි වල පළ කෙරෙන එවැනි කමෙන්ට් ගැන කළ යුතුව ඇත්තේ, දැක්කොත් දැක්කා විතරයි න්‍යාය යොදා ගණන් නොගෙන සිටීමයි.

මේවාත් කියවා බලන්න.

Sunday, 12 April 2009

එරබදු මතක් කරන අවුරුද්ද


එරබදු මතක් කරන අවුරුද්ද ලඟ ඇවිත්
සුභ නැකැත් පිළිගන්න කැවුම් කිරිබත් ඉදෙත්
රුදු සතුරු ගිනි ඇවිල දහස් නෙත් තෙත් කරත්
සෝ සුසුම් මැද බොහෝ දනෝ අද දිවි ගෙවත්

රූ පෙට්ටි තිරය මත බෝ සිනා පිරෙන සඳ
සුභ නැකැත් මතක් කර සුභ කරයි අවුරුද්ද
හැම දෙසම හැම මුවෙම මේ සිනා නැගෙනවද
උන්ට නැති මේ සතුට අපි කොහොම සමරමුද

හතර කොණ හැම සිතක සිනහ මල් පීදිලා
නිදි වරා විඳින දුක් ගැහැට හැම නිමවෙලා
යුද ගිනි නිවී සතුරු ගැහැට හැම නැතිවෙලා
හිනැහෙයන් අවුරුද්ද මග ලකුණු සුභවෙලා

බෝ ©

උතුරට කදමලු බැඳගෙන නෑගම් යන්නට ලක ලැහැස්තිවෙන අපේ ඇත්තෝ පිරිසක් රූපවාහිනී තිරයෙන් දුටුවා. හැමදේම විවේචනය කර කර ඉන්නේ නැතුව යමක් කරන්නට පෙළඹීම ගැන ඒ අයට ගොඩාක් පිං. මොකද ඒ කොනෙත් මේ කොනෙත්, කොහිත් ඉන්නේ මිනිස්සු. අවුරුදු සැමරුම් නොමැතිව දුක් විඳින, තාමත් ත්‍රස්ත ග්‍රහණයෙ සිටින අහිංසකයන් ගැන දුකයි. ඉක්මනින් ත්‍රස්ත උවදුරු දුරුවී අපේ රට එක්සේසත් වෙන දිනය උදාවේවා කියා ප්‍රාර්ථනා කරමි.

හැමට සුභ අලුත් අවුරුද්දක් වේවා....
අපේ රටට ඉක්මනින් සාමය සතුට සෞභාග්‍යය උදාවේවා !
අලුතින් යමක් නොලියවුනත් පරණ මතක අලුත් කරමි

අලුත් අවුරුදු මතක

නෙත පිනන සනහන නිමාවන්
වත දුලන බබලන වෙලාවන්
හිත පිරෙන සනහන සිනහවන්
හද නිවන පහදන කතාවන්


මේ හැම පිරුණු සුභ අලුත් අවුරුද්දකට ආසිරි

ආයු බෝ වේ වා

(චිත්‍රය මවිසින් කුඩා කල අඳින ලද්දක්)

Thursday, 9 April 2009

සමුගන්න කාලයයි

වෛර කඳු ගොඩ ගසන් ඇයිද සිත් තලන්නේ
කෝපයෙන් වියරුවී තව පණක් නසන්නේ
මානයෙන් සිහි නුවණ විකල්වී මිනිසුනේ
පිරිහිලා වැනසිලා අගතියම දකින්නේ

දකින්නට රිසි දේම නිතර නෑ දකින්නේ
අසන්නට රිසි දේම නිතර නෑ ඇසෙන්නේ
හිඳින්නට හැමදාම මෙලොව මේ ලෙසින්නේ
කරන්නට බැරි දෙයත් ඒකමයි සිතෙන්නේ

පිරුණාම මෙත් සිහිල සිත සදා නිවෙන්නේ
කරුණාව පෙරදැරිව සෙනේහය වඩන්නේ
ඒ මගයි දැකගන්න මේ පෙරුම් පුරන්නේ
ඒ හිතයි මතුදාක නිවන් මග දකින්නේ

සුපින්වත් සිතුම් යති දැහැන්ගත වෙන සිතේ
සිතින්වත් නොකර පව් ගතකරමු ජීවිතේ
නිතින් කවි පද බැඳන් දුර ආව මාවතේ
ඉතින් දැන් සමුගන්න කාලයයි මට සිතේ

බෝ

Friday, 27 March 2009

අද..සංකල්පනා

අද !

බොහෝ කාලෙකින් ඉර නැඟෙනු දුටුවා !

අලුත් දවසක්
අලුත් එළියක්
අලුත් අරමුණු බොහෝමැයි

ඉර එළිය නුදුටු දෙනෙතක් ඒ ඉර එළිය දිහා බලාගෙන මද සිනහ නගනු දුටුවා...

සහන් එළියක්
සිහිල් සෙවනක්
හිතේ සැනසුම මෙතැනමයි !

ඇස් දෙකම පෙනෙන්නේ නැති අත්තම්මා කෙනෙක් මූණ අතගාලා හැඩරුව "බලාගත්තා" !

දුටිම් ලොව නෙත් දෙකින්
අඳව ගිය මුත් ඉතින්
පාට හැඩරුව නිතින්
දැනේ 'ඟිලි තුඩු අගින්

ඒ අතර,

මං මාත් එක්ක යුද්ධෙක
මගෙ හිතත් එක්ක යුද්ධෙක
සිත නිවා ගන්න යුද්ධෙක
ඉන් දිනාවිද මමත් දවසක..

බෝ
Google